211 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක්

6th April 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ 211 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මැදවච්චිය, ළිඳවැව ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 8,000.00 බැගින් වූ වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (5) ළිඳවැව දුම්මින්නේගම ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබීය.

211 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම අඩු ආදායම්ලාභී පවුල් වල ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, ඒ සඳහා කඩවත සරණ බෞද්ධ පදනමේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුනිල් විජේවර්ධන මහතා අවශ්‍ය මූල්‍යමය දායකත්වය සපයන ලදී.

211 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් ආර්.එම්.එස්.ජේ රාජනායක මෙම වැඩසටහනේ සංවිධානය කටයුතු සිදුකරන ලද අතර, එහිදී එම ප්‍රතිලාභීන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලබන ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබීය.

21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් රොෂාන් කන්නන්ගර, මැදවච්චිය සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කෞසිගන් මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභීන් සහභාගී වූහ.