ගර්භනී මාතාවන් වෙත යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

1st April 2023

ඇමෙරිකාවේ වැඩවසන පූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත හිමිපාණන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ දායකයින් පිරිසක්, යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය සහ දායකත්වය මත කිරිඉබ්බන්වැව, නිකවැව, ඇහැටුගස්වැව, නව ගජබාපුර, නව මොණරවැව, ජනකපුර සහ හැලඹවැව යන ගම්මානවල පදිංචි ගර්භනී මාතාවන් වෙත පසුගිය අඟහරුවාදා (මාර්තු මස 28) දින කිරිඉබ්බන්වැව මහා විද්‍යාලයේදී වියළි ආහාර සලාක පාර්සල් 40 ක් බෙදාදීමෙි ‍‍‍‍වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී 62 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 622 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉනොජ් හේරත් ගේ අධීක්‍ෂණය යටතේ රුපියල් 5000/= ක වටිනාකමකින් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබිණි.

චන්ද්‍රපාල මහතා සහ චන්ද්‍රතිලක මහත්මිය, දිනේෂ් මහතා, ජීවා විතානආරච්චි මහතා සහ ඔහුගේ ආදරණීය පුත් නාමල් කුමාර මහතා, වෙනුරි රත්නපාල මහත්මිය මෙම පරිත්‍යාග වැඩසටහන වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

622 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 9 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරිතුමන් සහ භටපිරිස් මෙම අවස්ථාවට සහභාගී වූහ.