553 වන පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්
29th March 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘Help and Helper Foundation’ පදනමේ අනුග්‍රාහකත්වය මත යාපනය අර්ධද්වීපයේ මරුතන්කේනි ප්‍රදේශයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පාර්සල් 38 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (මාර්තු මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මරුතන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ප්‍රතිලාභී සිසු සිසුවියන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම සිසු සිසුවියන් වෙත රුපියල් 9000/= ක වටිනාකමින් යුත් පාසල් උපකරණ පාර්සල් බෙදාදෙනු ලැබූහ.
55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 553 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී විය. එමෙන්ම, 10 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, වඩමාරච්චි ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, මරුතන්කේනි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, මරුතන්කේනි විද්‍යාලයේ විදුහල්පති සහ ග්‍රාම නිලධාරිතුමන් ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.