පීඩාවට පත් උසස් පෙළ අපේක්‍ෂකයින් සඳහා විකල්ප විභාග මධ්‍යස්ථාන සැපයීමට යුද්ධ හමුදා භටපිරිස් මැදිහත් වෙයි
3rd February 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 234 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මූලිකත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත්වී සිටින විභාග අපේක්‍ෂකයින් වෙනුවෙන් විකල්පව සකස් කරන ලද නව විභාග ශාලා දෙකක් පසුගිය බ්‍රහස්පතින්දා (2) දින එම විභාග අපේක්‍ෂකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙනු ලැබිණි.
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් එම විද්‍යාලයේ උසස් පෙළ විභාගය පවත්වනු ලබන විභාග ශාලාවන්ට මඩ සහිත ජලය ගැලීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටි අතර, පසුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විභාග සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ ඉල්ලීමකට අනුව 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී සැලසුම් කළ ආකාරයටම විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා විකල්පයක් වශයෙන් නව විභාග ශාලා දෙකක් සකස් කර තිබිණි.
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 234 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් විභාග අපේක්ෂකයින්ට බාධාවකින් තොරව විභාග කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙනු ලැබීය.