යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් භික්‍ෂූන් වහන්සේලා වෙත ඖෂධ පරිත්‍යාගයක්

1st February 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (27) දින පොළොන්නරුව, හතරැස් ඇළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවසන භික්‍ෂූන් වහන්සේලා වෙත පූජාකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි එම විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණ රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් මෙම ඖෂධ හා උපකරණ තොගය එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් වෙත පූජාකරනු ලැබිය.

‘දැහැමි පදනමේ’ ශෂිකලා ගුණරත්න මහත්මිය සහ ‘මනුසත් හදවත් පදනමේ’ නදී සමරසිංහ මහත්මියගේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන යශෝමි පතිරගේ මහත්මිය සහ ඉනෝකා කාරියවසම් මහත්මිය ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර වෙතින් එම භික්‍ෂූන් වහන්සේලා වෙත අවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණ පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා ඔවුන්ගේ බැතිබර දායකත්වය දැක්වූහ.

මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ රෝගාතුරුව සිටින භික්‍ෂූන් වහන්සේලා වෙත අත්‍යාවශ්‍යව පැවති රෝද පුටු, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඖෂධ පූජාකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සමඟින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එස්.පී. හල්පගේ ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.