52 වන සේනාංකයේ මූලිකත්වයෙන් නාවට්කුලි ප්‍රදේශයේ ළමුන් වෙනුවෙන් නව පෙර පාසලක්

28th January 2023

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට උතුරේ දමිළ ප්‍රජාව සමඟ සහජීවනයෙන් ජීවත්වන සිංහල ප්‍රජාවක් වෙසෙන යාපනය, නාවට්කුලි ගම්මානයේ සිදුකරනු ලැබූ සිය ප්‍රථම නිල සංචාරයේදී එම ගම්මානයේ වෙසෙන දරු දැරියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ‘ලක්දරු’ පෙරපාසල් ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාදුන්හ. මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ සහ අධීක්‍ෂණ කටයුතු 523 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂ් සිරිවර්ධන සහ 52 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඊ.ඩී.එම්. ජයකාන්ත විසින් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හර්ෂනී බෝතොට මහත්මිය විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මූලස්ථානයේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් නව ‘ලක්දරු’ පෙර පාසලට ඇතුළත් වන සියලුම දරුවන් සඳහා රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පාර්සල් 16 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම නව පෙර පාසල පසුගිය බ්‍රහස්පතින්දා (26) දින සුබ මොහොතින් විවෘත කරනු ලැබූ අතර එහිදී සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සහ පීත්ත පටිය කැපීම සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් පෙර පාසල් ළමුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.