ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ විද්‍යාත්මක සැසිවාර අවසන් වේ

12th March 2017

‘හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 දින පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වෛද්‍ය හා දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් සහභාගීත්වයෙන් අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේ දී පවත්වන ලදි.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා සහභාගි වූ අතර, එහි සම්භාවනීය අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක ද සහභාගි විය.

සෙනසුරාදා දින පැවති මෙම සැසියේ දී ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සාමාජිකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ වැඩමුළුවක් පැවැත්විම, පශ්චාත් උපාධි ක්‍රමවේදය හඳුන්වාදීම ආදිය සිදු කරන ලදි.

අවුරුදු 30 ක් පැවති ගැටුම්වලින් ලබාගත් අත්දැකිම් ඇසුරින් හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඉතිහාසය ලේඛණගත කිරීම ද ආරම්භ කර තිබෙන අතර, ඊට අමතරව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනය මඟින් දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥ විද්‍යාතන සමඟ අධ්‍යයන සැසි ද සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) විද්‍යාත්මක සැසියට සමගාමිව එවැනිම සැසියක් මාර්තු මස 10 සහ 11 වන දිනයන්හි දී 200 කට අධික වෘත්තීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ යෝජනාවකට අනුව යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් 400 ක් පමණ වූ වෛද්‍යවරුන් සහ දන්ත වෛද්‍යවරුන් එක්ව පිහිටුවාගත් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු අධ්‍යයන සැසිය 2016 මාර්තු මස 18 වන දින යුද හමුදා රෝහලේ දී පවත්වන ලද අතර, එහිදි හමුදා වෛද්‍ය විද්‍යාව, සාගර වෛද්‍ය විද්‍යාව, ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ත්‍රිවිධ හමුදාවට අදාල මානයන් පිලිබඳව අධ්‍යයනය කරනු ලැබීය.

පුර්ව විද්‍යාත්මක සැසියේ දී රුධිර කැටි ගැසිම සහ රුධිර වහානයවීම පිළිබඳ නව සොයා ගැනීම් ආදිය සාකච්ඡා කරන ලදි. එමෙන්ම, එහිදි ලිඛිත ඉදිරිපත් කිරිම් 08 ක් සහ ඒ හා සමාන පොස්ටර් ඉදිරිපත් කිරිම් ද සිදු කළ අතර, හමුදා වෛද්‍ය විද්‍යාව, හමුදා දන්ත වෛද්‍ය විද්‍යාව සහ හමුදා මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මෙහිදි සාකච්ඡා කරන ලදි.

මෙම විද්‍යාතනයේ ආරම්භ වූ පසුගිය වසරේ දී එහි නායකත්වය දැරු ආරම්භක සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ රියර් අද්මිරාල් (විශ්‍රාමික) එන්.ඊ.එල්.ඩබ්. ජයසේකර, පත් වූ සභාපති මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, උප සභාපති ගුවන් කොමදෝරු එල්. ආර්. ජයවීර යන අය විසින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීම කළමණාකරන, අධ්‍යයනය, සමාජ සහ මාධ්‍ය වැනි උප කමිටු තුලින් සිදු කරන ලදි.

හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ICMM) රටවල් 120 ක් සාමාජිකත්වය දරණ අතර, ශ්‍රී ලංකාව ද එහි සාමාජිකත්වය දරයි.

|