යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ගෝනගල විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

27th January 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අම්පාර, ගෝනගල විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව, ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (17) එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

රණක්‍ෂිතයට පත්ව වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ලැබූ ලාන්ස් කෝප්‍රල් එස්. සෝමතිලක සිය මිතුරන් සහ ගම්පහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගෝනගල විද්‍යාලයේ සිසු සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් රුපියල් 450,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව තවත් දක්‍ෂ සිසුන් දෙදෙනෙකු වෙත ශිෂ්‍යත්ව ද්විත්වයක් ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි හා 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 241 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එච්.කේ. කුමාරසිරි සහභාගි වූ අතර 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ආර්.එම්. අලවත්ත ඇතුළු නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පති ඇතුළු විද්‍යාලීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, දෙමාපියන් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.