රෝගී විශ්‍රාමික සැරයන් වෙත යුද හමුදාපතිගේ අවධානය
9th March 2017
මාතර ප්‍රදේශයේ පදිංචි දැඩි ලෙස රෝගාතුර වූ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙකුගේ රෝගී තත්වය පිළිබඳව අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වහා ක්‍රියාත්මක වී යුද හමුදා ගිලන් රථයක් මඟින් එම විශ්‍රාමික සැරයන්වරයා කොළඹ, යුද හමුදා රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සම්පාදනය කරන ලදි.
2009 ට පෙර පැවති මානුෂිය මෙහෙයුමේ දී එක් ඇසක් සහ පාදයක් අහිමි වූ සැරයන් එස්. වීරතුංගගේ (විශ්‍රාමික) රෝගී තත්වය පිළිබඳව තවත් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු විසින් යුද හමුදාපති වෙත දැනුම්දීමෙන් අනතුරුව මේ සඳහා යුද හමුදාපතිගේ අවධානය යොමු විය.
ඒ අනුව ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බුස්ස පිහිටි 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්. රණවන හා සම්බන්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබීය. වහා ක්‍රියාත්මක වූ සේනාංකාධිපති, යුද හමුදා ගිලන් රථයක් මඟින් පැය දෙකහාමාරක කාලයක් තුල දී විශ්‍රාමික සැරයන්වරයා කොළඹ යුද හමුදා රෝහල වෙත රැගෙන එන ලදි.
මීට අමතරව යුද හමුදාපතිතුමා විසින් රෝගී සැරයන්වරයාගේ ළඟම ඥාතීන් හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලමින්, ඔවුන් හට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන ලෙස රෝහල් බලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.
|