යුද හමුදාව වෙතින් ‘හැකියාවන් වර්ධනය’ පිළිබඳ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරේ

1st March 2017

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ දියතලාව පිහිටි යුද හමුදා පුහුණු අණසක මුලස්ථානයේ ආරාධනයෙන් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුලු විද්වතුන්, වෘත්තිකයන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එහි සේවයේ නියුතු නිලධාරීන් දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් පෙබරවාරි මස 21 සිට 23 දක්වා පවත්වන ලදි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් තුල හැකියාවන් වර්ධනය කරලීමෙන් එම ප්‍රදේශයේ මහජන සේවය සඳහා ඇති කැපවීම වර්ධනයත්, කාර්යක්ෂම සේවයක් සැපයීමත් මෙම වැඩමුළුවෙහි අභිප්‍රාය විය.

යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම ප්‍රදේශයන් තුල යුද හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රජා ව්‍යාපෘති සහ මහජනතාව වෙත සිදු කරනු ලබන සේවය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සිය කෘතඥතාවය පුද කළ අතර, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන සඳහා යාපනය ආඥාපතිගේ උපදේශන සහාය ද ඉල්ලා සිටියහ.

නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම, ආපදා කළමණාකරනය, සිවිල් හමුදා සහයෝගීතාවය, පොදු සම්මතයන් හා ආචාර ධර්ම, හැකියාවන් වර්ධනය හා කාර්යක්ෂමතාවය ආදිය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව පැවැත් වූ මෙම වැඩමුළුව සඳහා යාපනය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 18 ක් සහ යුද හමුදා නිලධාරීන් 06 ක් සහභාගි වූහ.

මේ අනුව, මධ්‍යම ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් සඳහා ද තවත් මෙවැනිම වැඩසටහනක් ඉදිරියේ දී පැවැත්විමට යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සැලසුම් කර ඇත.

|