ආබාධිත රණවිරුවන් තම සහෝදර සෙබලුන්ගේ කරමතින් සිරිපා වන්දනාවේ රැගෙනයාම පිළිබඳ ස්වාමින් වහන්සේ වෙත ගෞරව පුද කෙරේ

1st March 2017

කටුනායක, අඩිඅම්බලම පිහිටි ජයරාජාරම විහාරයේ පුජ්‍ය දරනගම සුමනරතන ස්වාමින් වහන්සේ විසින් එම විහාරස්ථාන දායක සභාවේ හා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවේ භට පිරිස්හි සහයෝගය ඇතිව ආබාධිත රණවිරුවන් හට ගෞරව පුද කිරීම සඳහා අඛණ්ඩව සිදු කරනු ලබන වැඩසටහනක් ලෙස 18 වන වරටත් ආබාධිත රණවිරුවන් 27 දෙනෙකු ‘සිරි පා’ වන්දනා කිරීම සඳහා රැගෙන යන ලදි.

මේ අනුව මෙම ස්වාමින් වහන්සේ විසින් පසුගිය වසර 18ක් තුල ආබාධිත රණවිරුවන් 550 ක් පමණ සිරිපා වන්දනා කරවා ඇති අතර, මෙවර පූර්ණාබාධිත රණවිරුවන් 16 දෙනෙකු සහ අර්ධවශයෙන් ආබාධිත රණවිරුවන් 11 දෙනෙකු වන්දනා කරවිම සිදු කෙරිනි.

ස්වාමින් වහන්සේගේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ මඟපෙන්විම යටතේ එම ඒකක භට පිරිස් හි සහයෝගයෙන් මෙම ආබාධිත රණවිරුන් තම කරමතින් නල්ලතන්නියේ සිට සිරි පා වන්දනා කිරීම සඳහා රැගෙන යනු ලැබීය.

ආබාධිත රණවිරුවන් සහෝදර සෙබලුන්ගේ කර මතින් සිරි පා මළුව වෙත පැමිණිමෙන් අනතුරුව දරනාගම සුමනරතන ස්වාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කළ අතර, වන්දනාවේ පැමිණ සිටි බැතිමතුන් විසින් එම රණවිරුවන් වෙත උණුසුම් සුභ පැතුම් පුද කරමින් ආහාර පාන මෙන්ම රසකැවිලි ආදියෙන් ද සංග්‍රහ කළහ.

|