කාන්තා සෙබලියක් වෙතින් වාසවිලාන් සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් තැන්පතු

21st February 2017

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සෙබලියක් සහ ගුරු වෘත්තියේ නියුතු ඇයගේ සැමියා විසින් යාපනය වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙකු වෙත අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මසකට රුපියල් 3000/= බැගින් ප්‍රදානය කිරිමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වන ලදි.

වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකු වන කේ. කිරුෂ්නාත්ගේ ආර්ථික අපහසුතාවයන් පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ආර්.එම්. රත්නායක සහ කුරුණෑගල, පොල්පිතිගම, තලකොළවැව මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඒ.එම්.අනුර ප්‍රියදර්ශන අදිකාරි යන ඇගේ සැමියා විසින් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

එහි පළමු වාරිකය වූ රුපියල් 3000/= ක මුදල සිකුරාදා (17) දින එම සිසුවාගේ නමින් ලංකා බැංකුව චුන්නාකම් ශාඛාව වෙත බැර කරන ලදි.

තලකොළවැව මහා විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන් කණ්ඩායමක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර, එහිදි පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ද මෙම සිසුවා වෙත පරිත්‍යාග කරමින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභපැතුම් ද එක් කළහ.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් පි.එස්. රන්කෝත්ගේ විසින් එම සෙබලිය සිදු කළ මෙම පරිත්‍යාගය ඇගයීමට ද ලක් කරනු ලැබීය.

|