යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් රණජයපුර රණවිරුවන් හමුවේ
18th February 2017
රණසේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මුලිකත්වයෙන් පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා භට නිවාස සම්පාදක අධ්‍යක්ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය, ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය සහ යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලයනියෝජනය කරමින් යුද හමුදා නිලධාරීන් සහ නාවික හා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සෙනසුරාදා (18) දින ඉපලෝගම ‘රණජයපුර’ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි රණවිරුවන් වෙනුවෙන් ජංගම වැඩමුළුවක් පවත්වමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලදි.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විමෙන් පවත්වන ලද මෙම වැඩමුළුවේ අරමුණ වූයේ එම නිවැසියන්ගේ ගැටලු සහ පවතින අඩුපාඩුකම් සොයාබලා ඒවාට එහිදිම විසඳුම් ලබාදීම වේ.
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද ‘රණජයපුර’ නිවාස යෝජනා ක්‍රමය යටතේ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා උර දී කටයුතු කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙනුවෙන් නිවාස 1509 ක් ඉදිකර ඇති අතර, මෙම හමුව සඳහා එහි රණවිරුවන් 1000 ක් පමණ සහභාගි වූහ.
සෙනසුරාදා (18) දින පැවති මෙම වැඩසටහනට ජංගම උපදේශන සේවාවක්, වෛද්‍ය සායනයක් සහ ඔවුන්ගේ ගැටලු විසඳීමේ අරමුණින් සම්මුඛ සාකච්ඡාවන් ද ඇතුලත් විය.
නාවික හා ගුවන් හමුදා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 212 බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
|