ත්‍රස්තවාදීන් සමඟ පැවති සටන්වලදී දිවි පිදූ ඉන්දීය සාමසාධක හමුදාවේ විරුවන් සිහිකෙරේ

29th January 2017

ශ්‍රී ලංකාව තුල 1987 වර්ෂයේ ජූලි මස සිට 1990 වර්ෂයේ මාර්තු මස දක්වා කාලය තුළ පැවති ක්‍රියාන්විත වලදි දී දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිකිරිමේ උත්සවයක් පලාලි හි පිහිටි ඉන්දීය යුද හමුදා සාමසාධක රණවිරු ස්මාරකය අභියස දී බ්‍රහස්පතින්දා (26) දින පවත්වන ලදි.

තවද, මෙම රණවිරු සැමරුම් උත්සවය ඉන්දියාවේ 68 වැනි ජනරජ දිනයට (ජනවාරි 26) සමගාමිව පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනයේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ කන්සියුලර් ජෙනරාල් ඒ. නටරාජන් මහතා සහභාගි වූ අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි විය.

තවද මෙහි දි එම රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔවුනට ගෞරව දැක්විම ද සිදු කෙරිනි.

අනතුරුව, ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ කන්සියුලර් ජෙනරාල් ඒ. නටරාජන් මහතා සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ ක්‍රියාන්විත වල දී ඉන්දීය සාමසාධක හමුදාවේ විරුවන් විශාල පිරිසක් දිවිපූදා ඇත.

|