යුද හමුදා විද්‍යාපීඨයේ ‘Smart Class’ වැඩසටහන මගින් යුද හමුදා සාමාජිකයන්ට ප්‍රංශ භාෂා දැනුම

25th January 2017

යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ගේ මග පෙන්විම යටතේ ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ අධ්‍යයන දැනුම වර්ධනය කිරිමේ අරමුණින් භාෂා ඉගැන්විම සඳහා වු නවීන ඉගැන්වීම් සංකල්පයක් වන ‘Smart Class’ ක්‍රමය හදුන්වා දෙනු ලැබිය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ, පුහුණුවන කැඩෙට් නිලධාරීන් හට මෙන්ම අනාගතයේ දී එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා සාමාජිකයන් වැඩි පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බැවින් ඔවුන්ගේ විෂය මාලාව සඳහා ද ප්‍රංශ භාෂා පාඨමාලාව ඇතුලත් කිරීමෙන් අප්‍රිකානු මහාද්වීපයේ මාලි වැනි ප්‍රංශ භාෂාව කතාකරන රටවල රාජකාරි කිරීමේදි ඉතා ප්‍රයෝජනවත් වේ.

නවීන ඉගැන්වීමේ සංකල්පයක් වන මෙම ‘Smart Class’ ක්‍රමය තුල දැනට පැය හැටක කාලයක් භාවිතා කරන අතර ප්‍රථමයෙන් මෙය කැඩෙට් නිලධාරීන්ගේ අවසන් අධ්‍යයන වාරයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ප්‍රංශ භාෂාව කතාකරන රටවල් හි යොදවන යුද හමුදා බළඇණි සදහා ප්‍රංශ භාෂාව නිල භාෂාව ලෙස යොදාගන්නා අතර, ඔවුන්ගේ කාර්යභාරයන් වඩා කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉටු කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ‘Smart Class’ භාෂා විද්‍යාගාරය ඔවුන්හට පරිහරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව, ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපයේ මාලි හි රාජකාරින් සඳහා පිටත්වන භටපිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 2017 ජනවාරි මස 16 වන දින ආරම්භ වන ප්‍රංශ භාෂා පාඨමාලාව සඳහා සහභාගීවන ලෙස දැනුම් දී ඇත. මෙම පැය හැටක පාඨමාලාවේ දී එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවන භටපිරිස් හට සවන්දීම, කතා කිරීම, කියවීම, ලිවීම සහ සංවාද පිළිබඳව දැනුම ලබාදෙනු ලැබේ.

යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීම යටතේ, යුද හමුදා පුහුණු අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් විජිත රවිප්‍රියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ආඥාපති සහ උපදේශකවරුන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් මෙම නව වැඩසටහන හඳුන්වාදෙන ලදි.

|