හසලක ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්

14th January 2017

‘හසලක වීරයා’ නමින් ප්‍රසිද්ධ ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින්, ඔහු යුද හමුදාවට එක්වීමට පෙර අධ්‍යාපනය ලැබූ හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයේ දී බදාදා (11) දින ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වන ලදි.

එහිදි සිසුන් දෙදෙනෙකු වෙත ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 5000 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 02 ක් පිරිනමනු ලැබීය.

අලිමංකඩ හසලක ගාමිණි පිළිරුව අභියස ඇති පුණ්‍ය අරමුදලේ මුදල් වලින් මෙම ශිෂ්‍යත්ව ලබා දුන් අතර, රුපියල් 500 ක වටිනාකමකින් යුත් පාසල් පොත් අඩංගු පාර්සල් 50 ක් ද සිසුන් 50 ක් වෙත මෙහිදි බෙදාදෙන ලදි.

1991 වර්ෂයේ දී අලිමංකඩ දී මව්බිම වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින් පැවැත් වූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සංවිධානය කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් සී.කේ. හඳුන්මුල්ල මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදුකෙරිනි.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ගාමිණි කුලරත්න විරුවාගේ මෑණියන්, හසලක ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

තවද, පාසලේ සිසුන් ඉදිරිපත් කළ සංස්කෘතික නර්තනයන්ගෙන් මෙම අවස්ථාව තවත් වර්ණවත් විය.

|