යුද හමුදාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසයි

3rd January 2017

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (02) උදෑසන රාගම පිහිටි රණවිරු සෙවන වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් 2017 නව වර්ෂය වෙනුවෙන් ඔවුන් හට සුභ පැතුම් ද එක්කළහ.

මෙහිදි යුද හමුදාපතිතුමා රණවිරු සෙවනේ පිහිටි වාට්ටු තුනෙහිම සංචාරය කරමින් එහි ප්‍රතිකාර ලබන 63 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග පිරිනමා ඔවුන් සමඟ සුහඳ කතාබහක ද නිරත විය. මෙහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස්.ද ඉසෙඩ්. වික්‍රමරත්න, රණවිරු සෙවනේ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග සහ යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ. තිරුණාවුකරසු විසින් පිළිගන්නා ලදි.

ඉන්අනතුරුව යුද හමුදාපතිතුමා රණවිරු සෙවනෙහි පිහිටි යුද හමුදා සහ අනෙකුත් සේවාවන්හි ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කෘතිම අවයව නිෂ්පාදන ස්ථානයෙහි නිරික්ෂණය කළ අතර, එම නිෂ්පාදන පිළිබඳව ද විමසා සිටියහ.

එමෙන්ම, යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් දිවයින පුරා පිහිටි රෝහල් 26 ක සහ යුද හමුදා සාමාජිකයින් ප්‍රතිකාර ලබන ස්ථානයන්හි සඳුදා (02) උදෑසන සංචාරය කළහ.

ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොළඹ ජාතික රෝහල, මිහිඳු සෙත් මැඳුර, අක්ෂි රෝහල, පනාගොඩ යුද හමුදා මුලික රෝහල, පලාලි යුද හමුදා මුලික රෝහල, අනුරාධපුර අභිමංසල 1, අනුරාධපුර යුද හමුදා මුලික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, වව්නියාව යුද හමුදා රෝහල, මන්නාරම යුද හමුදා රෝහල, මින්නේරිය යුද හමුදා මුලික රෝහල, වැලිකන්ද රෝහලේ යුද හමුදා වාට්ටු, අම්පාර මහා රෝහලේ යුද හමුදා වාට්ටු, කිලිනොච්චි යුද හමුදා මුලික රෝහල, මුලතිව් යුද හමුදා මුලික රෝහල, මහනුවර මහා රෝහල, දියතලාව යුද හමුදා මුලික රෝහල, කඹුරුපිටිය අභිමංසල 2, පාන්ගොල්ල අභිමංසල 3, මහරගම පිලිකා රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, අංගොඩ මුලික රෝහල, පොලොන්නරුව ජාතික රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ ත්‍රිකුණාමලය යුද හමුදා රෝහල යන ස්ථානයන්හි සංචාරය කරමින් එහි නේවාසික රෝගීන් වෙත යුද හමුදාපතිතුමාගේ සුභ පැතුම් සමඟින් ත්‍යාග පාර්සල් පිරිනැමිම සිදු කරන ලදි.

|