විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කාර්මික ශිල්පීන් රාජ්‍ය ආයතන සඳහා බඳවාගැනේ

8th October 2016

ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම සුභසාධන ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් අද (7) සවස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අදහසකට අනුව ක්‍රියාත්මක මෙම නව ව්‍යාපෘතිය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය අනුගහය දක්වන ලදි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක මෙම නව බඳවා ගැනීම් ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස තාක්ෂණික සුදුසුකම් ලත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්  50 දෙනෙකු බඳවා ගැනීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අඟහරුවාදා (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වන උත්සවයක දී මෙම පත්විම් ලාභි 50 දෙනා වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරනු ඇත.

ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පි.ජි. කිත්සිරි මහතා, අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාපති, යුද හමුදාවේ යුද සේවා ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

|