කමාන්ඩෝ භට පිරිස් ඔවුන්ගේ 'ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ' නිපුණතාව ප්‍රදර්ශනය කරයි

24th September 2016

යුද හමුදා කමාන්ඩෝ භට පිරිස් 48 දෙනෙක් 6 කණ්ඩායම් වශයෙන් අද (22) දහවල් හම්බන්තොට පිහිටි මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලේ දී 'ගුවන් මෙහෙයුම් මගින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ' නිදර්ශන අභ්‍යාසය සිදු කරමින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රදර්ශනය කරන ලදි. එම අවස්ථාව සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ. අවසන් වූ ‘දියකාවා යුද අභ්‍යාසය’ තවත් එක් කොටසක් ලෙස පවත්වන ලද මෙම නිදර්ශන අභ්‍යාසය යුද හමුදා කමාන්ඩෝ භට පිරිස් විසින් (අ) ගුවන් මෙහෙයුම් (ආ) ගොඩනැගිලි මෙහෙයුම් ආදි කාණ්ඩ දෙකක් යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ අභ්‍යාස සිදු කරන ලදි. මෙම නිදර්ශන අභ්‍යාසය තුලින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සහ ත්‍රස්තවාදී නායකයින් ජීවග්‍රහණයෙන් යුක්තව ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ආකාරය මොනවට නිදර්ශනය වන පරිදි මෙම අභ්‍යාසය සිදු කෙරිනි. අරිසිමලේ දී අවසන් වූ ‘දියකාවා යුද අභ්‍යාසය’ සඳහා සහභාගි වූ විදෙස් නියෝජිතයින් හා නිරීක්ෂකයින් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද බ්‍රහස්පතින්දා දින කමාන්ඩෝ භට පිරිස් සිදු කළ මෙම ප්‍රාණ ආපකරුවන් මුදාගැනීමේ නිපුණතාවය ප්‍රදර්ශනය කළ අවස්ථාව නැරඹිම සඳහා සහභාගි වූහ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ‘දියකාවා යුද අභ්‍යාසයේ’ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්, ‘දියකාවා යුද අභ්‍යාසයේ’ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ එම අභ්‍යාසයේ අනෙකුත් නියෝජ්‍ය සහ අතිරේක අධ්‍යක්ෂවරුන්, සේනාංකාධිපතිවරුන් මෙන්ම බලසේනාධිපතිවරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.