යුද හමුදාපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානයට පොරොන්දු ඉටු කරයි

15th September 2016

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති ධූරයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි සිදු කළ පළමු සංචාරයේ දී පොරොන්දු වූ පරිදි පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානයෙහි සෙසු නිලයින් සඳහා ඉදි කරනු ලැබූ නව බහුකාර්ය පහසුකම් සහිත ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (15) දින විවෘත කරනු ලැබීය. රුපියල් මිලියන 50 ක් පමණ වැය කරමින් ඉදි කරනු ලැබූ මෙම දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය තුළ සෙසු නිල භෝජනාගාරයක්, කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වූ විනෝද ක්‍රීඩා සමාජ ශාලාව, රූපවාහිනී නැරඹුම් කාමරයක් සහ මුළුතැන්ගෙයක් ඉදි කර ඇති අතර, එහි වර්ග ප්‍රමාණය වර්ග අඩි 8820 ක් වන අතර, දිගින් අඩි 210 ක් සහ පළලින් අඩි 42 ක් වේ. මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, යුද හමුදාපතිතුමා තම මව් රෙජිමේන්තුවේ නිලධාරීන් සමඟ අදහස් කිහිපයක් හුවමාරු කරගැනීමට ද අමතක නොකළහ. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති ධූරයට පත්වීමෙන් පසු 2015 පෙබරවාරි මස ඉංජිනේරු බලකා මූලස්ථානයෙහි කළ ප්‍රථම සංචාරයේ දී ඉංජිනේරු භට පිරිස් සඳහා දීර්ඝ කාලීනව අඩුපාඩුවක්ව ප‍වතින තම පහසුකම් සපුරාලීම සඳහා කඩිනමින් ක්‍රියා කරන බව පවසනු ලැබීය. එහිදී කඳවුරු සම්මාන මුරය පසුකර යාම සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක විසින් යුද හමුදාපතිතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව උඩරට වෙස් සම්ප්‍රදායන් සහිත නර්ථනාංගවලින් සමන්විත වූ වර්ණවත් පෙරහැරකින් ප්‍රධාන ආරාධිත අමුත්තා ගොඩනැගිල්ල විවෘත කිරීමේ ස්ථානය සඳහා කැදවාගෙන එනු ලැබීය. අනතුරුව ආගමික ආශිර්වාද මධ්‍යයේ යුද හමුදාපතිතුමා සමගින් මේජර් ජෙනරාල් චන්න ගුණතිලක එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ නව බහුකාර්ය පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කිරීමේ පලකය නිරාවරනය කරනු ලැබීය. පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකින් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් විය.