පැරාලිම්පික් තරඟාවලිය 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගනී

15th September 2016

බ්‍රසීලයේ රියෝ ද ජැනිරෝ නුවර පැවති පැරාලිම්පික් තරඟාවලිය - 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් අඟහරුවාදා (13) දින ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් මානුෂීය මෙහෙයුමේ දී කිළිනොච්චි ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටිය දී 2008 දෙසැම්බර් මස 16 වන දින රුදුරු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ රණක්ෂිතයට පත්ව වෛද්‍ය වර්ග කිරීම් මත විශ්‍රාම ගොස් ඇත. දුර මීටර් 58.23 වාර්ථා කරමින් පැරාලිම්පික් තරඟාවලියක දී පදක්කමක් ලබා ගනු ලැබූ දෙවන ක්‍රීඩකයා ලෙස කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වාර්ථා ගත වේ. මෙය ඔහුගේ හොඳම තරඟ වාර්තාව වේ. මෙම ඉසව්වේ දී ඉන්දියාවේ දේවේන්ද්‍ර ජහාරියා මීටර් 63.97 ක් දුර වාර්ථා කරමින් රන් පදක්කම දිනා ගත් අතර, චීනයේ ගුවෝ චුන්ලින් මීටර් 59.93 දුර වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගනු ලැබීය. මේඅතර, ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කොප්‍රල් ගාමිණි ඒකනායක එම ඉසව්වේ දී මීටර් 48.84 ක් වාර්තා කරමින් නවවන ස්ථානයට පත් විය. මෙය ශ්‍රී ලංකාව ලබා ගත් දෙවන පැරාලිම්පික් පදක්කම වන අතර, 2012 වර්ෂයේ දී ප්‍රදීප් සංජය විසින් පිරිමි මීටර් 400 ටී 46 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.