රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් හට ජනපති සුරතින් නව නිවාස පිරිනමයි

9th September 2016

රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් සඳහා නිවෙස්වල ඔප්පු ප්‍රදානය කිරීම සඳුදා (5) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද සහභාගි විය. මෙහිදී රණවිරු රියල් ස්ටාර් අදියර II හි ජයග්‍රාහිකාව වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් අයෝමි පෙරේරා සහ රණවිරු රියල් ස්ටාර් අදියර III හි ජයග්‍රාහිකාව වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැරයන් තුෂානි පෙරේරා වෙත එම නිවෙස්වල නිත්‍යානූකූල ලිපි ලේඛන අතිගරු ජනාධිපති සිරිසේන මැතිතුමා ගේ සුරතින් ප්‍රදානය කරනු ලැබීය. එමෙන්ම එහිදී ඩයලොග් ආසියාටා ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය හන්ස විජයසූරිය මහතා විසින් රණවිරු රියල් ස්ටාර් අදියර V හි ප්‍රථම ජයග්‍රාහකයා හට පිරිනමනු ලැබූ නව නිවස ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 6 ක් වටිනා චෙක් පත සහ පසුගිය වසරේ රණවිරු රියල් ස්ටාර් තරඟයෙහි කෙටි පණිවිඩ මගින් උපයා ගන්නා ලද රුපියල් මිලියන 15.5 ක් වටිනා චෙක් පත ආරක්ෂක අමාත්‍යාංශ සුබසාධක අරමුදල වෙනුවෙන් අතිගරු ජනපතිතුමන් වෙත ලබා දෙනු ලැබීය. එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රණවිරු රියල් ස්ටාර් අදියර V හි දෙවන ස්ථානයට හිමි නව මෝටර් රථයෙහි යතුර ටොයෝටා ලංකා ආයතනයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරාල මහතා විසින් ලබා දෙනු ලැබූ අතර, රණවිරු රියල් ස්ටාර් අදියර V හි මූලික වියදම් සඳහා රුපියල් මිලියන 90 ක මුදලක් සොෆ්ට් ලොජික් ආයනයේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් ලබා දෙනු ලැබීය. රණවිරු රියල් ස්ටාර් අදියර V හි අවසන් මහා තරඟය සැප්තැම්බර් මස 11 වන දින සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්වූහ. (ජායාරූප උපුටා ගැනීම - www.defence.lk)