වී වගාව සඳහා යන්ත්‍රෝපකරණ ලබාදෙමින් කොස්ගම ගොවීන් වෙත යුද හමුදා සහය

8th September 2016

කොස්ගම පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවල වී වගා කරනු ලැබූ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ඉල්ලීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ඉදිරිපත් කර ඇත. අනතුරුව යුද හමුදාපතිගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂක කර්නල් බුවනෙක ගුණරත්න විසින් එම ගොවියන් සඳහා යුද හමුදා බර යන්ත්‍රෝපකරණ සහ ට්‍රැක්ටර් රථ ලබා දෙමින් යුද හමුදා සහය ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් අද උදෑසන (8) කුඹුරු අක්කර 245 ක වගා කටයුතු සඳහා යුද හමුදා බර යන්ත්‍රෝපකරණ සහ ට්‍රැක්ටර් රථ ලබා දෙනු ලැබීය. තවද ඉදිරියේ එන ‘මහ’ කන්නයේ වී වගා කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ අධීක්ෂණයෙන් භට පිරිස් විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම මගින් ප්‍රදේශවාසී ගොවී ජනතාවගේ වගාවන් සහ සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්වයට පත් කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. යුද හමුදා භට පිරිස් 50 ක ගේ සහයෝගයෙන් යුතුව (8) උදෑසන පැවති මෙම වැඩසටහන සඳහා යුද හමුදා බර යන්ත්‍රෝපකරණ සහ ට්‍රැක්ටර් 10 ක් ලබා දී බිම් සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික සහය ද ලබාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා, 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර, කෘෂිකර්ම අධ්‍යක්ෂක කර්නල් බුවනෙක ගුණරත්න, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ ගොවීන් රැසක් සහභාගි වූහ.