යුද්ධ හමුදා සෙබළෙකු බූස්සේදී රන් මාලයක් කොල්ලකෑ සොරෙකු අල්ලයි

19th April 2023

අඟහරුවාදා (18) දින පස්වරුවේ බූස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑ සොරෙකු දුටු බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සෙබළෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී සොරා අල්ලා ගන්නා ලදී.

මෙම සිදුවීම සිදුවු අවස්ථාවේ බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංක මූලස්ථානයට අනියුක්තව සේවයේ නියුතු සාමාන්‍ය සෙබල ආර් ජී ඩී කුමාර බූස්ස දුම්රිය ස්ථානයේ සිටි අතර, දුම්රිය නැවතුම්පොළේ නතර කර තිබු දුම්රිය ගමන් ආරම්භ කිරීමට සූදානම්ව සිටියදී සොරා විසින් මෙම රන් මාලය කඩාගෙන පලා යන ආකාරය සාමාන්‍ය සෙබල ආර් ජී ඩී කුමාර දුටුවේය.

පවුම් 2ක් පමණ වටිනා රන් මාලය කඩාගත් සොරා රේල් පාර දිගේ ඉදිරියට දිවගොස් ඇති අතර අදාල කාන්තාව සහය ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ මෙම සෙබළා වහා ක්‍රියාත්මක වී ඇත.

ඒ අනුව සාමාන්‍ය සෙබල ආර් ජී ඩී කුමාර සොරා පසුපස ලුහුබැඳ ගොස් සොරා ජීවග්‍රහයෙන් අල්ලා ගෙන අදාළ සැකකරු සහ මාලය එම ස්ථානයට පැමිණි රත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දෙනු ලැබීය.