ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා මූලස්ථානය මුලතිව්හි සංචාරයක

2nd April 2023

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සිය (Lieutenant Colonel Puneet Sushil) උතුරු පළාත් සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (31) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්හි සංචාරය කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර හමුවී සුහද සාකච්ඡාවක නිරත වූයේය.

එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින් එම බලප්‍රදේශයේ මේ වනවිට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන ව්‍යාපෘති සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ වත්මන් කාර්යභාරයන් සහ හමුදා සිවිල් සම්බන්ධතාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂකතුමන් දැනුවත් කරන ලදී.

මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. අනතුරුව ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.