ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක කඳවුරු සංචාරයක නිරත වෙයි

30th March 2023

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් දර්ශන විජේසේකර 2023 මාර්තු මස 24, 27 සහ 28 තෙදින තුළ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ කළුඅග්ගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසලේ වත්මන් තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් එම ඒකකයන්හි සංචාරයක නිරත වූවේය.

එම ඒකකයන් වෙත පැමිණි මේජර් ජෙනරල් දර්ශන විජේසේකර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව ඒකක අණදෙන නිලධාරින් සහ පුහුණු පාසල් ප්‍රධාන උපදේශක විසින් එම මූලස්ථානයන් වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයන් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් දර්ශන විජේසේකර භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප සඳහා ද සහභාගී වූවේය.

මෙම සංචාරයට සමගාමීව මාර්තු මස 24 දින බොරැල්ල ප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සිදුකළ සංචාරය අතරතුර මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ සුරතින් එම පරිශ්‍රයේ ඉදිකළ නව මැහුම්හල විවෘත කරනු ලැබීය.