යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ලාභීන්ගෙන් වැඩිහිටි මාතාවක් වෙත නව නිවසක්

15th August 2016

සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරිම් ශිල්පීය පාඨමාලා අංක 01 හදාරනු ලබන සිසුන් විසින් සාලියවැව, නීලබැම්ම ව්‍යාපාරය, 22 කණුව ප්‍රදේශයේ පදිංචි දිළිඳු මාතාවක් වෙත නව නිවසක් ඉදි කරදෙන ලදි. දිළිඳු මෙන්ම වැඩිහිටි මාතාවක් වන එම්.පී.ඩි. හේමාවති මහත්මියගේ නිවසට මෑත දී ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් දැඩිලෙස හානි සිදු වී ඇති අතර, ඇය විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිල්ලට ප්‍රතිචාරයක් ලෙස ඇගේ අසරණ තත්වය සලකා යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු පුහුණුලාභීන් විසින් ශ්‍රම සහ මූල්‍ය දායකත්වය ලබාදෙමින් මෙම නව නිවස ඉදි කිරීමට තීරණය කර ඇත. යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බි. පින්නවලගේ මහත් උනන්දුව මත සිදු කළ මෙම ව්‍යාපෘතිය පාඨමාලාලාභීන්ගේ ප්‍රයෝගික ක්‍රියාකාරකම් හි කොටසක් ද වේ. ඒ අනුව සෙනසුරාදා (13) දින යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක හා අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් එම නිවස භාරදීමේ චාම් උත්සවයක් පැවති අතර, එහිදි මෙම නිවසේ හිමිකාරිය වන එම්.පී.ඩි. හේමාවති මහත්මිය විසින් කිරි උතුරවා නව නිවසට ගෙවදීම සනිටුහන් කරන ලදි.