11 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

17th February 2023

පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ ගේ මඟපෙන්වීම මත පෙබරවාරි මස 14 සහ 15 දෙදින තුළ බෞද්ධ ආගමික වතාවත් සිදුකරමින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර දිනයට ප්‍රථම (පෙබරවාරි මස 14) දින යුද්ධ හමුදා භටපිරිස් විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කර එම සේනාංකයේ භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත කිරිආහාර පූජාවක් සිදුකරන ලදී.

සංවත්සර දිනයේදී, සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ඇමතීය. පසුව, සංවත්සර දිනය සනිටුහන් කරමින් මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ‘බිසෝමැණිකේ දඹවින්න වැඩිහිටි නිවාසය’ වෙත රුපියල් 55,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පරිත්‍යාග කරනු ලැබීය.

සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවති අතර එහිදී, මේජර් ජෙනරල් රෝහිත අළුවිහාරේ සේනාංකයේ සියලු නිලයන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.