ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මිහිඳු සෙත් මැදුර නරඹා ගාල්ලේ ද සංචාරය කරයි
4th December 2015
ඉන්දීය යුද හමුදා මාණ්ඩලක ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින දේශය වෙනුවෙන් සටන් කර රණක්ෂිතයට පත් වූ විරුවන් 52 කු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි සංචාරයක නිරත විය. මිහිඳු සෙත් මැඳුරේ නේවාසික රණවිරුවෙක් ජෙනරාල් සිං පිළිගත් අතර, ඉතා සුහදශීලි ලෙස හෙතෙම මෙහි රැකවරණය ලබන රණවිරුවන් සමඟ කතාබහ කළේය. මෙවැනි මහඟු කාර්යභාරයක් උසුලන යුද හමුදාවට සිය ප්‍රසාදය පල කළ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි නේවාසික විරුවන්ගේ සුවදුක් ද සොයා බැලීය. මෙම සංචාරය සිහිගන්වමින් පුනරුත්තාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරිසු විසින් ඉන්දීය යුද හමුදා මාණ්ඩලක ප්‍රධානී හට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. ඉන්දීය හමුදා ප්‍රධානිගේ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ‘මිහිඳු සෙත් මැඳුරේ’ සේනාවිධායක කර්නල් අයි.ජී.ආර්.ජී බෝගොඩවත්ත ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. අනතුරුව එදිනම ජෙනරාල් ඩල්බීර් සිං ගාල්ල ප්‍රදේශයේ අසිරිය නැරඹීම සඳහා සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන විසින් ඉන්දීය ජෙනරාල්වරයා පිළිගනු ලැබීය.