එක්සත් ජනපද කෙඩෙට් නිලධාරීන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක

29th July 2016

වෙස්ට් පොයින්ට් හි පිහිටි එක්සත් ජනපද යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨයෙහි කෙඩෙට් නිලධාරීන් සහ උපදේශකයින් පිරිසක් බදාදා (27) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. මෙම කණ්ඩායම සඳහා ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන අධ්‍යක්ෂක කර්නල් ලියම් කොලින්ස්, ඇමෙරිකානු යුද හමුදා උපදෙස් පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහය මහාචාර්ය ආචාර්ය ලයනල් බීනර්, හමුදා උපදේශකවරුන් තිදෙනෙකු සහ කෙඩෙට් නිලධාරීන් පස් දෙනෙකු ඇතුළු පිරිසක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. මෙම නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් උදය කුමාර විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් උදය කුමාර විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කාර්යභාර්ය සහ වගකීම් සම්බන්ධව මෙන්ම පශ්චාත් යුද සමයේ හමුදා සහය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක එම ඉදිරිපත් කිරීම හා සම්බන්ද වෙමින් ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දුන් අතර, අනතුරුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සුබසාධක ක්‍රියාකාරකම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මේජර් රයන් මෝගන් සහ තිමේෂා හෙන්රි මිය එක් විය. එම අවස්ථාව සිහිගන්වමින් ආඥාපතිතුමා විසින් කර්නල් ලියම් කොලින්ස් හට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. අනතුරුව එම සංචාරය සිහිගන්වමින් කර්නල් ලියම් කොලින්ස් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීමට අමතක නොකළහ.