ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ‘ඇසළ’ කලාපය ඇතුගල්පුර දී විවෘත වේ
20th July 2016
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව තෙවන වරට සංවිධානය කරන ලද ‘ඇතුගල්පුරයයි දහම් අමාවයි’ ඇසළ කලාපය මාලිගාපිටිය ක්‍රිඩාංගනයේ දී අඟහරුවාදා (19) දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කරන ලදි. වසර තුනකට පෙර යුද හමුදාපතිතුමා ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ නව ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම දැවැන්ත ආගමික වැඩසටහන මඟින් බෞද්ධ ඉතිහාසයේ ඇසළ පුර පසළොස්වක පෝය දින වැදගත්කම අපට මතක් කර දෙයි. ‘අංගුලිමාල’ කථා වස්තුව ඉදිරිපත් කරන විශාල තොරණ, පහන් කුඩු 25 කින් සමන්විත පහන් කුඩු ප්‍රදර්ශනය, බැති ගී සංදර්ශනය, සංස්කෘතික නර්ථනාංග, පුළුල් තිර බෞද්ධ සිනමා සංදර්ශනය ඇතුලු විශේෂාංග රැසකින් මෙම ඇසළ කලාපය සමන්විත වූ අතර, එය මහජනතාව වෙනුවෙන් බ්‍රහස්පතින්දා (21) සවස් වන තෙක් විවෘතව පවතියි. මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වයඹ පළාත් ආණ්ඩුකාර ගරු අමරා පියසීලි රත්නායක මහත්මිය විසින් මෙම ඇසල කලාපය විවෘත කළ අතර, මෙහිදි ස්වාමින් වහන්සේලා 200 නමක් සෙත්පිරිත් සජ්ජායනා කරමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ආශීර්වාද කළහ.