මුලතිව් සෙබලුන්ගේ සංවිධානයෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා නොමිලේ කෘතිම පාද ලබා දේ

13th July 2016

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොළඹ රෝටරි සමාජයේ දායකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, එහිදි ලබාදෙන ලද එක් පාදයක වටිනාකම රුපියල් 15,000 ක් පමණ වේ. කොළඹ අසරණ සරණ සමිතියේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ රොටරි සමාජය ද දායකත්වය ලබා දුන් අතර, එහිදී 59 වන සේනාංකයේ නන්දිකඩාල් ප්‍රදේශයේ සහ 64 වන සේනාංකයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්ගේ සහය ඇතිව එම ප්‍රදේශයන්හි ආබාධිත සිවිල් වැසියන් 25 දෙනෙකු සඳහා ජූලි මස 2 සිට 7 යන දිනයන්හි කෘතිම පාද බෙදා දෙනු ලැබීය. එම ආබාධිත සිවිල් වැසියන් වෙත කෘතිම පාද බෙදාදීම දින 7 ක් මුළුල්ලේ ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ දී සිදු වූ අතර, එහිදී කෘතිම පාද ලබා ගත් සිවිල් වැසියන් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධව යුද හමුදාවට සිය ස්තුතිය පිරිනමනු ලැබීය.