ත්‍රිවිධ හමුදා නිනොනො භට පිරිස් නිත්‍යානුකූලව සේවයෙන් අස්කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට

2nd July 2016

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක පොදු සමා කාල සීමාව, මෙතෙක් නොපැමිණි අයවලුන් හට ඔවුන්ගේ අස්විම් කටයුතු සිදු කර ගැනීමට හැකිවන පරිදි ජුලි මස 12 වන දින දක්වා දිර්ඝ කර ඇති අතර, යුද හමුදා විධායක ජෙනරාල් ශාඛාවට අනුව අවශ්‍ය සියලු ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මඟින් ඔවුන්හට සෘජුවම අදාළ රෙජිමේන්තු මූලස්ථානයෙන් හෝ අවසන්වරට රාජකාරි කළ ස්ථානයෙන් එක් දිනක් තුල එම නීත්‍යානුකූල කටයුතු සිදු කර ගැනීමට හැකියාව ඇත. නිවාඩු නොමැතිව නොපැමිණ සිටි සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා 2016 ජුනි මස 13 වන දින සිට පොදු සමා කාලය ප්‍ර‍කාශයට පත් කළ අතර, ඒ අනුව සිකුරාදා (ජූලි 01) පස්වරුව වන විට යුද හමුදා සාමාජිකයින් 10,417 කගේ නීත්‍යානුකූල අස්වීම් කටයුතු සිදු කිරීමට යුද හමුදාව සමත් වී තිබේ. ඒ අනුව (අ) නිනොනො කාලසීමාව මාස 03 ට වැඩි අයවලුන් හට (ආ) නිනොනො කාලසීමාව මාස 03 ට අඩු දින 21 වැඩි අයවලුන් හට (ඇ) නිනොනොව සිටින නිලධාරීන් හට (ඈ) අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් නිනොනොව සිටින අයවලුන් හට (ඉ) ත්‍ර‍ස්තවාදි ක්‍රියා හේතුවෙන් තුවාල ලබා නිනොනොව සිටින අයවලුන් හට යනුවෙන් අංශයන් කිහිපයක් යටතේ 2016 ජුලි මස 12 වන දිනට ප්‍ර‍ථම සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුමට අදාල පාස් පොතෙහි ජායා පිටපත් ආදිය අදාළ ස්ථාන වෙත ඉදිරිපත් කිරීම මඟින් නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සිදුකර ගත හැක. කෙසේ නමුත් මේ සබැඳිව වැඩි විස්තර ඔවුන් අදාල රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් හෝ පෙර රාජකාරි කළ ස්ථානවලින් ලබාගත හැක.