‘විරුසර වරප්‍ර‍සාද’ කාඩ්පත ඊලග අදියරේදී හිගුරක්ගොඩ සහ පොලොන්නරුව වෙත

22nd June 2016

‘විරුසර වරප්‍ර‍සාද’ කාඩ්පත බෙදා දීමේ දෙවන අදියරෙහි ප්‍ර‍ථම වැඩසටහන සඳුදා (27) හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා අඟහරුවාදා (21) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාව දී පවසනු ලැබීය. පොලොන්නරුවේ පැවැත්වෙන මෙම වැඩසටහන මගින් දේශය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පවුල් මෙන්ම පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් වෙත එම ‘විරුසර වරප්‍ර‍සාද’ කාඩ් පත් ප්‍ර‍දානය කරන අතර, එමගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ රැසක සේවාවන් මෙන්ම වට්ටම් ප්‍ර‍දානය කරනු ලබයි. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් උපුල් අල්විස් මහතා, රණවිරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ, හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ ‘විරුසර වරප්‍රසාද’ ව්‍යාපෘතියේ මාධ්‍ය සම්බන්ධීකාරක සිසිර විජේසිංහ මහතා එක් විය.