අස්ථාන ගතව ඇති ලිපි ලේඛන සෙවීම සඳහා මූලික පරීක්ෂණ උසාවි දෙකක් පත් කෙරේ
20th June 2016
(ප්‍රවෘත්ති නිවේදනය) ප්‍රවීන මාධ්‍යවේදී හා කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පවත්වන පරීක්ෂණවලට යුද හමුදාව සහයෝගය පල නොකරන බව ඇතැම් මාධ්‍යවල දැක්වෙන වාර්තා යුද හමුදාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර, ඒ හා සැබදි කරුණු පහත පරිදි වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට යුද හමුදාවේ පූර්ණ සහයෝගය පලකරමින් ඔවුන් ඉල්ලා ඇති ඇතැම් ලිපි ලේඛන සොයා ගැනීම සඳහා යුද හමුදා පොලිසියේ විශේෂ පරීක්ෂණ ඒකකයට (SIU) හමුදාපතිවරයා විසින් උපදෙස් හා නියෝග ලබාදී ඇත. එහෙත් එම ඒකකයටද ඉල්ලා සිටි ඇතැම් ලිපිලේඛන සොයාගැනීමට නොහැකි වී තිබේ. කෙසේ වුවද යුද හමුදා විනය නීති රෙගුලාසි යටතේ යුද හමුදාපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව මෙම අස්ථානගත ලේඛන කිනම් ස්ථානයක අස්ථාන ගතවීද, ඒවා සත්‍ය වශයෙන්ම අතුරුදහන් වීද, එසේනම් එම කාලසීමාව සහ කිනම් පුද්ගලයන් ඒ සඳහා වගකිව යුතුද යන්න තහවුරු කර ගැනීම පිණිස මූලික පරීක්ෂණ උසාවියක් පත්කරනු ලැබ ඇත. එම මූලික පරීක්ෂණ උසාවියට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඝාතනය සබැඳි වූ පරීක්ෂණවලට අදාල අස්ථානගත ලිපි ලේඛන සොයාගැනීම සඳහා යුද හමුදාපතිවරයා විසින් තවත් මූලික පරීක්ෂණ උසාවියක් පත්කර ඇත. මෙම මූලික පරීක්ෂණ උසාවි දෙකෙහිම කටයුතු නිම වූ පසු එම සොයා ගැනීම්වල තොරතුරු ගරු අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙනු ඇත. රටෙහි පවත්නා නීතිය වෙනුවෙන් යුද හමුදාව කැපවී ඇති අතර, ඉහත දැක්වූ සිදුවීම් වලදී සෘජුව හෝ වක්‍රව හෝ කිසියම් යුද හමුදා සාමාජිකයෙකු කිසියම් අයුරකින් සම්බන්ධ බව හෝ සිතාමතා සාක්ෂි යටපත් කිරීමෙන් අධිකරණයේ කටයුතුවලට බාධා පමුණුවා ඇත්නම් එවැනි පුද්ගලයන්හට ඔවුන්ගේ තරාතිරම හෝ සමාජ තත්වයන් නොසලකා යුද අධිකරණයක් ඉදිරියට පමුණුවනු ඇත. (නිමි)
 
            
          