සිවිල් සංවිධාන විසින් කොස්ගම විපතට පත් වැසියන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දේ

17th June 2016

පසුගියදා කොස්ගම පිපිරීමෙන් විපතට පත් සිවිල් වැසියන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව එම වැසියන් සඳහා වියලි ආහාර, ගෘහ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍ර‍ව්‍ය බෙදාදෙනු ලැබීය. ඒ අනුව කොස්ගම සිවිල් වැසියන් වෙත බෙදාදීම සඳහා අඟහරුවාදා (14) දින උතුරු කොළඹ ‘මානව සත්කාරක පදනමේ’ සංවිධානයෙන් පරිත්‍යාග කරනු ලැබූ කොට්ට සහ මෙට්ට තොගය ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වෙත භාර දෙන ලදී. එම භාණ්ඩ තොගය බොරළුගොඩ පිහිටි යුද හමුදා කාර්යාලයේ දී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක හට භාර දීමේ අවස්ථාව සඳහා ‘මානව සත්කාරක පදනමේ’ සභාපති පූජ්‍ය මතුරට ධම්මාලන්කාර හිමි සමගින් ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා එක් විය. එමෙන්ම එම වැඩසටහන සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ කොළඹ 13 කොටහේන පිහිටි වැඩිහිටි නිවාසයේ කළමාණාකාරීත්වය දරණ ‘මානව සත්කාරක පදනමේ’ සාමාජිකයින් ද එක් විය. ඊට සමගාමීව බෞද්ධයා නාලිකාවේ සභාපති සහ සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධනනගම කුසලධම්ම නායක හිමියන් විසින් සඳුදා (13) දින විපතට පත් වූ වැසියන් සඳහා බෙදාදීමට වියළි සලාක විශාල ප්‍ර‍මාණයක් යුද හමුදාව වෙත පරිත්‍යාග කරනු ලැබීය.