යුද හමුදාව කළ සේවය විහාරාධිපති හිමියන්ගේ පැසසුමට
17th June 2016
පසුගියදා බෙරවිල ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් එම ප්‍රදෙශයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබූ අවස්ථාවේ යුද හමුදා සෙබලුන් වහා ක්‍රියාත්මක වී ඔවුන්ගේ ජන ජීවිතය නැවත යථාතත්වයට පත් කිරීම උදෙසා කළ සේවය අගය කරමින් දෙලොස්බාගේ, බෙරවිල පිහිටි ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වඩුපොල රේවත හිමියන් විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත සිය ස්තුතිය පුද කරමින් ජුනි මස (2) වන දින ලිපියක් එවා ඇත. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බණ්ඩාරගේ අණ පරිදි එම ප්‍රදේශයේ ඇති වූ ගංවතුර උවදුරෙන් විනාශ වූ ජන ජීවිත නැවත යථාතත්වයට පත් කිරීම සඳහා යුද හමුදා භට පිරිස් ඉමහත් සේවයක් සිදු කරනු ලැබීය. එහිදී නායයෑමෙන් විනාශ වූ බෙරවිල ගම්මානයට පිවිසීම සඳහා යුද හමුදා භට පිරිස් විසින් නව මාර්ගයක් සකස් කරනු ලැබීය. යුද හමුදාව කළ එම උදාර සේවය වෙනුවෙන් ඉසිපතනාරාම විහාරයේ විහාරාධිපති හිමියන් විසින් යුද හමුදාපතිතුමා සහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න මෙන්ම යුද හමුදා සෙබලුන් වෙත සිය ස්තුතිය පිරිනමන ලදී.
 
            
          