ප්‍රතිසංස්කරණය සහ අලුත්වැඩියාව සඳහා කොට්ඨාශ හයක්
16th June 2016
කොස්ගම ප්‍රදේශයේ ඇති වූ පිපිරීයාම හේතුවෙන් විනාශයට පත් වූ සිවිල් වැසියන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර, යුද හමුදා භට පිරිස් විසින් දිවා රාත්‍රී එම කාර්යයේ නියුතුව සිටියි. ඒ අනුව මහජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ අරමුණින් අලුත්වැඩියා කටයුතු නිම කරන ලද නිවාස 202 ක අගහරුවාදා (14) පස්වරුවේ ජනතාව පදිංචි විය. ඒ අතරම ඉහත භට පිරිස් විසින් තවත් නිවාස 78 ක් අලුත්වැඩියා කිරීම (15) උදෑසන ආරම්භ කළ අතර, ඉදිරි පැය 24 දී එම නිවාස අලුත්වැඩියා කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ. 2016 ජුනි මස 05 වන දින සාලාව යුද හමුදා කදවුරේ ඇතිවූ පිපිරීම හේතුවෙන් හානියට පත් වු කොස්ගම රජයේ රෝහල, ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනෙකුත් සේවාවන්හි සහයෝගයෙන් යුතුව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකාය නාවික හමුදා භට පිරිස් සමග එක්ව සාලාව රජයේ රෝහලෙහි අලුත්වැඩියා කටයුතු (13) සඳුදා සම්පුර්ණයෙන්ම නිම කර ජනතාව වෙත විවෘත කරනු ලැබීය. මීට අමතරව එම ප්‍රදේශවල පානීය ජලය සහිත ලිං 1296 ක් ජනතාවගේ පරිහරනයට සුදුසුවන පරිදි නාවික හමුදා භට පිරිස් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහන සේවකයින් එක්ව පිරිසිදු කර ඇත. එමෙන්ම බවුසර් මගින් ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙත ජලය ලබා දීම නොකඩවා සිදු කරගෙන යනු ලැබේ. මේ අතර, කොස්ගම පිපිරීම හේතුවෙන් පන්සල් සහ ප්‍රජා මධ්‍යස්ථානවල තාවකාලිකව වාසය කළ අවතැන් වූ ජනතාව (14) දින වන විට එම ස්ථානවලින් සම්පුර්ණයෙන්ම ඉවත් වූ බව ප්‍රදේශයේ අලුත්වැඩියාකටයුතුවල නියුතු භට පිරිස් විසින් සනාථකරනු ලැබීය. එමෙන්ම මනා සම්බන්ධිකරණය සහ පහසු පරිපාලනය මගින් ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමේ අරමුණින් යුතුව එම සම්පූර්ණ ප්‍රදේශය කොට්ඨාශ හයකට බෙදා වෙන් කර ඇත. (14) අඟහරුවාදා වන විට ඉදිකිරීම් කටයුතු කරගෙන යාම සඳහා පහත සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම කොට්ඨාශ සඳහා පත් කර ඇත. කොට්ඨාශ අංක 1 - සාලාව I - ශ්‍රී ලංකා යුද හමුදා 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව කොට්ඨාශ අංක 2 - රණවිරුගම - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව කොට්ඨාශ අංක 3 - ආනන්දගම - 1වන ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය කොට්ඨාශ අංක 4 - බොරළුගොඩ - 4 වන ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය කොට්ඨාශ අංක 5 - මුරුතගම - ශ්‍රී ලංකා නාවික හමුදාව කොට්ඨාශ අංක 6 - සාලාව II - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
 
            
           
             
             
             
             
             
             
             
            