කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු නිම කරයි

14th June 2016

කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු ඊයේ (12) වන විට නිම කිරීමට යුද හමුදාව සමත් විය. යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි සිදු කරන ලද මෙම කඩිනම් අළුත්වැඩියා කටයුතුවලට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් ද නොඅඩුව සැපයීම අඛණ්ඩව සිදු කෙරේ. නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ රාජ්‍ය ආයතන වෙතින් ලැබෙන සහයෝගය මෙම කටයුතු කඩිනම් කිරීම සඳහා යුද හමුදාවට මහත් රුකුලක් වී ඇත. පීඩාවට පත් පවුල්වලට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමද යුද හමුදාව විසින් අඛණ්ඩ සිදු කරන අතර, නාවික හමුදාවේ සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මේවන විට ලිං 941 ක් පිරිසිදු කර ඇත. ඊට අමතරව ප්‍රදේශය පුරා අවශ්‍යතාවය මත ජල ටැංකි ස්ථාපිත කර ඇත. ඒ සඳහා අවශ්‍ය ජලය යුද හමුදා ජල බවුසර් 5 ක් යොදා ගනිමින් සැපයීම සිදු කරන අතර, අවශ්‍යතාවය අනුව ජල සම්පාදන මණ්ඩලයේ සහයද ලබා ගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතා නොඅඩුව සපුරාලීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව සාලාව රජයේ රෝහල ප්‍ර‍තිසංස්කරණය කිරීමේදී ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ සහය ලබා දී ඇත. ජනතාවට තාවකාලික නාවාතැන් ගැනීම සඳහා අවශ්‍ය කූඩාරම් ද සනීපාරක්ෂක කටයුතු සඳහා ක්ෂේත්‍ර‍ වැසිකිලි ද සකස් කර ඇති අතර, වෛද්‍ය පහසුකම් ලබා දීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව වෛද්‍ය මධ්‍යස්ථාන හා යුද්ධ හමුදා ජංගම වෛද්‍ය සේවාවන් ද ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මෙම වැඩපිළිවෙල නිරතුරුවම නිරීක්ෂණය කරනු ලබයි.