නාවලර් පාසලේ සිසුන් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

4th June 2016

කෝපායි නාවලර් දමිළ විද්‍යාලයේ විදුහල්පති කේ. තාමජීලන් මහතා විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට ප්‍ර‍තිචාරයක් ලෙස හොඳ හිත සහ සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් එම පාසලේ සිසුන් පිරිසක් වෙත බ්‍ර‍හස්පතින්දා (02) දින පලාලි ගුවන් තොටුපලෙහි සංචාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයාදෙන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ගුවන් හමුදා බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් ගුවන් තොටුපොළ වෙත සංචාරය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර, දශක තුනකට වැඩි කාලයකින් අනතුරුව පළමු වරට සංචාරය සඳහා පහසුකම් සපයන ලදී. මෙම අධ්‍යාපන චාරිකාව සඳහා පාසල් සිසුන් 52 ක් සහ ගුරුවරුන් 05 දෙනෙකු සහභාගි විය. එහිදි ගුවන් තොටුපලෙහි මෙහෙයුම් සම්බන්ධව සහ අනෙකුත් කාර්මික දැනුම ඔවුන් වෙත ලබාදුන් අතර මෙය ඔවුනට නව අත්දැකීමක් විය. මෙහිදි එම සිසුන් විසින් රාජකාරියේ නියුතු ගුවන් හමුදා භට පිරිස් වෙතින් ඔවුන් හට ඇති ගැටලු සම්බන්ධයෙන් විමසා සිටි අතර, අවසානයේ දී සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් එම පිරිස පිළිගත් අතරම, ඔවුන් පිටවයාමට පෙර ආහාරපාන ආදිය ලබාදෙමින් සංග්‍ර‍හ කරන ලදි. 2011වර්ෂයේ දී 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් විසින් ඌව පළාත් සභාවේ මූල්‍යමය දායකත්වය ඇතිව මෙම විද්‍යාලය වෙත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරදෙන ලදි.