පශ්චාත් ආපදා අභියෝග ජයගැනීමට යුද හමුදාපති යුද හමුදාව සුදානම් කරයි

22nd May 2016

කොළඹ කලාපයේ ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (22) දහවල් වන විට ගත වූ පැය 24 තුල දී ගංවතුරින් අවතැන් වූ සිය ගණනක් වෙනුවෙන් පොදු ස්ථානවල ජංගම වෛද්‍ය ඒකක පහකට වඩා පිහිටුවා ඇති අතර, මෙතෙක් විපතට පත් සාමාන්‍ය වැසියන් 821 ක් වෙත අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. එමෙන්ම කොළඹින් බැහැර වෙනත් ප්‍රදේශවල ද යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් විපතට පත් 430 කට වඩා වැඩි පිරිසක් වෙත උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, වමනය, ශ්වසන අපහසුතා, කැස්ස ආදි විවිධ රෝග සඳහා ප්‍ර‍තිකාර ලබා දී ඇත. යුද හමුදාවට හා සිවිල් වැසියන් හට අයත් බෝට්ටු 66 ක් මගින් වැල්ලම්පිටිය, කඩුවෙල, බියගම, කොලොන්නාව යන ගංවතුරින් දැඩිලෙස හානියට පත් ප්‍රදේශවල අතරමං වූ සිවිල් වැසියන් 7300 ඉවත් කර ගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට සමත් වී ඇති බව වාර්තා වන අතර, මේ වනවිටත් යුද හමුදා සන්නාහ සන්නද්ධ රථ, බෆල් රථ, ට්‍ර‍ක් රථ යොදාගනිමින් ඉහත සමහර ප්‍රදේශවල අසරණ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමේ කටයුතු සිදු කරමින් පවතියි. මේ අතරතුර, අද උදෑසන (22) වන විට මෙසේ පදිංචි සිවිල් වැසියන් වෙත යුද හමුදාව වෙතින් පිසූ ආහාර පාර්සල් සහ විවිධ පරිත්‍යාගශීලීන් විසින් සපයනු ලැබු ආහාර යුද හමුදා භට පිරිස් විසින් ක්‍රියාකාරීව බෙදාහැරීම් කටයුතුවල නිරත වන ලදි. එමෙන්ම, යුද හමුදා භට පිරිස් 200 ක් පමණ අරණායක ප්‍රදේශයේ ඔවුන්ගේ සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන අතර, අද උදෑසන (22) මිනිස් දේහ කොටස් ඇතුළු මළ සිරුරු 30 ක් සොයා ගෙන ඇත. කෙසේ නමුත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ ප්‍ර‍කාශයට අනුව අතුරුදහන් වූ සංඛ්‍යාව 139 කි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් දිවයින පුරා ක්‍රියාත්මක ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ඇගයීමට ලක් කළ අතර, ගංවතුර තත්වය පහවයාමත් සමග බෝවන රෝග හා ආසාදන මෙන්ම අනෙකුත් සිදුවීම් ඇතුලු ඕනෑම පශ්චාත් ආපදා තත්වයකට හොඳින් සූදානම් විම සඳහා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් දැනුවත් කරන ලදි.