යුද හමුදාපති කොළඹ අවට ගංවතුරින් විපතටපත් ප්‍රදේශවල තත්ත්වය පරීක්ෂා කරයි
22nd May 2016
ගත වූ පැය 24 තුළ දී ගංවතුරෙන් විශාල ලෙස හානියට පත් වැල්ලම්පිටිය හා කොළොන්නාව යන කොළඹ අවට ප්‍රදේශවල තත්වය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පරික්ෂා කළ අතර, මේ වනවිට යුද හමුදාව විසින් සිදුකෙරෙමින් පවතින මුදවාගැනීමේ සහ සහන මෙහෙයුම් පිළිබඳව ද අධික්ෂණය කරන ලදි. ප්‍රථමයෙන්, යුද හමුදාපති ඔරුගොඩවත්ත වැල්ලම්පිටිය - හංවැල්ල පාර අවට ප්‍රදේශවල යුද හමුදා භට පිරිස් මුදවා ගැනිමේ කටයුතුවල නිරත වන අයුරු පැය භාගයක් පමණ ගුවනින් ගොස් නිරික්ෂණය කළ අතර, යුද හමුදා භට පිරිස් සන්නාහ සන්නද්ධ රථ භාවිතා කරමින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටින්නේ කුමන ස්ථානවල ද ඔවුන්ගේ උදව් ඇතිව විපතට පත් ජනතාව ඉවත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදි නිරික්ෂණය කරන ලදි. තවදුරටත් නිරික්ෂණයේ නිරත වූ යුද හමුදාපතිතුමා වෙත දැකගත හැකි වූයේ ජලමට්ටම වැඩිවෙමින් පැවති එම ප්‍රදේශවල සිටින ජනතාවට එයින් ඉවත්ව යාම සඳහා යුද හමුදාව විසින් කඹ ආධාරයෙන් ඔවුන් වෙත සහාය දක්වන ආකාරයයි. බ්‍රහස්පතින්දා (19) සවස් වනවිට ජල මට්ටම අඩි 12 කට වඩා වැඩි වූ අතර, එහි සිටි අවතැන් වූ ජනතාව මුදවා ගැනිමේ යුද හමුදා සහන කණ්ඩායම් වෙත යුද හමුදාපතිතුමා දන්වා සිටියේ කඹ යොදා ගනිමින් ජනතාව මුදවා ගැනීමේ දී ඉතා ප්‍රවේශමින් කටයුතු කරන ලෙසයි.  ඉන්පසු, තම නිරික්ෂණ සංචාරය අතරතුර යුද හමුදාපතිතුමා ගංවතුරින් දැඩිලෙස බලපෑම් එල්ල වූ තවත් ප්‍රදේශයක් වන වැල්ලම්පිටිය නගරයේ සංචාර කළ අතර, එහිදි වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් අධිකාරී, ස්ථානභාර නිලධාරි සහ නාවික හමුදා නිලධාරීන් සමඟ පොලිස් ස්ථානයේ දී හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව ද සාකච්ඡාවක් පැවැත්විය. හමුදා සාමාජිකයින්ගේ හදිසි අවශ්‍යතාවක් ඇති බව හැගුණු යුද හමුදාපතිතුමා වැල්ලම්පිටිය හා ඒ අවට විපතටපත් ජනතාව මුදවා ගැනීම සඳහා කමාන්ඩෝ සහ යුද හමුදා කිමිදුම්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශවලට පිටත් කර යැවූ අතර, තවදුරටත් වැල්ලම්පිටිය නගරයේ සංචාරය කළ යුද හමුදාපතිතුමා හට දැකගත හැකි වූයේ යුද හමුදා භට පිරිස් නාවික හා පොලිස් මුදවාගැනීමේ කණ්ඩායම් සමග යුහුසුළුව අවතැන් වූ ජනතාව මුදා ගැනිමේ කටයුතුවල නිරත වන ආකාරයයි. සිකුරාදා (20) දින යුද හමුදාපතිතුමා, නාවික හමුදාපති හා පොලිස්පති සමග එක්ව කඩුවෙල සමස්ත කලාපයම ගුවනින් නිරික්ෂණය කළහ. ඉන් අනතුරුව යුද හමුදාපති සහන සේවා රාජකාරියේ නියුතු විශේෂ බලකා භටපිරිස් හමු වු අතර, කඩුවෙල ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු භාර 14 වන සේනාංකයේ සේනාංකාධිපතිගෙන් එම ප්‍රදේශයේ වත්මන් තත්වය පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලදි. එසේම යුද හමුදාපතිතුමා විපතට පත් ජනතාවගේ සහ පැය විසිහතර පුරා රාජකාරියේ නියුතු භට පිරිස්වල අවශ්‍යතා සොයා බැලීය. නාවික හමුදාපති හා පොලිස්පති ද ඔවුන්ගේ සාමාජිකයින් සමගින් පුද්ගලිකව කතාබහක නිරතව ඔවුන්ගේ සුවදුක් ද විමසා සිටියහ. | 
