ගංගාරාම එකතුකළ සහන තොග බෙදාහැරීම සඳහා යුද හමුදාව වෙත භාරදෙයි

22nd May 2016

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමියන් (පොඩි හාමුදුරුවෝ) විසින් සිකුරාදා (20) දින වියළි ආහාර, එළවළු, බෙහෙත්, ඇඳුම්, කිරි පිටි පැකට්, ගොඩනැගිලි ද්‍ර‍ව්‍ය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල තොගයක් ගංවතුරින් විපතට පත්වූවන් සඳහා බෙදාදීමට ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත භාරදෙන ලදි. කොළඹ ප්‍රමුඛ බෞද්ධ විහාරස්ථානයක් වන ගංගාරාම‍ය මෙම සහනාධාර දානපතීන්ගෙන් සහ බැතිමතුන්ගෙන් එක්රැස් කරගෙන ඇති අතර, වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් විවිධ පුණ්‍ය වැඩසටහන් දියත් කිරීමට කටයුතු සංවිධානය කර තිබු විවිධ පෞද්ගලික ආයතන, සමාගම්, බැංකු, ස්වේච්ඡා සංවිධාන ආදිය මෙලෙස සහනාධාර ලබා දී ඇත. මෙම භාරගත් බඩු යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා යන ත්‍රිවිධ හමුදාවන් විසින් බෙදා හැරීමට නියමිතය. ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ඥානිස්සර නායක හිමියන් සහ එම විහාරස්ථානයේ ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් විසින් මෙම සහනාධාර තොගය සංකේතාත්මකව අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානි, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති සිරිසේන කුමාරසිංහ මහතා මෙන්ම දානපතීන් පිරිස ද ඉදිරියේ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදාව වෙත භාරදෙන ලදි. මෙහිදි පූජ්‍ය ඥානිස්සර නායක හිමි කෙටි දේශනයක් පැවැත් වූ අතර, අපේ රටවැසියන් දහස් ගණනක් ස්වාභාවික ව්‍යසනයකින් විපතට පත්ව සිටින මෙවන් අවස්ථාවක ඔවුනට උපකාර කිරීම පිළිබඳව පරිත්‍යාගශීලී පිරිස් වෙත සිය ස්තුතිය ද මෙහිදි පුද කළේය.