යුද හමුදා භට පිරිස් විසින් නායයෑමේ තර්ජනයට ලක් වූ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරේ

17th May 2016

දිස්ත්‍රික් ලේකම්වරයාගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ආයතනයන්හි උපදෙස් මත අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ තර්ජනයට ලක්ව සිටින නාවලපිටිය, බෝහිල්වත්ත ප්‍රදේශයේ පවුල් 14 කට වැඩි පිරිසක් සඳුදා (16) දින පස්වරුවේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලුන් විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබූ අතර, එහි දී සෙබලුන් විසින් එම පිරිස් වෙත වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් ද ලබා දෙනු ලැබීය. මේ අතරතුර පසුගිය පැය 24 තුල නායයෑම් හා පස්කඳු කඩා වැටීම් නිසා අවතැන් වූ සිවිල් වැසියන් 90 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අඹගමුව ලෙඩ්බෘෘක් සංවර්ධන මධ්‍යස්ථානයේ හා පුස්තකාල ගොඩනැගිල්ලේ රැඳී සිටින අතර, ඔවුන් වෙත පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා ලබාදීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් කටයුතු කොට ඇත. තව ද ඉරිදා (15) දින පස්වරුවේ කොත්මලේ - මාස්වෙල මාර්ගයේ රථවාහන ධාවනයට බාධා ඇති කරමින් ඇදවැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කොට යළි මාර්ගය විවර කරදීමට 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් ක්‍රියා කොට ඇත.