යුද හමුදා භට පිරිස් පිළිමතලාවේ නායයෑමෙන් අතුරුදන්වූවන් සෙවීමෙහි තවදුරටත් නියැලේ

17th May 2016

සඳුදා (16) දින රාත්‍රියේ පිළිමතලාව, රන්මලක, ඉලුක්වත්ත ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් අතුරුදහන් වූ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 06 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් සඳහා 2 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් දෙදෙනෙක් සහ භටයින් 32 ක් යුහුසුළුව ක්‍රියා කරති. මෙය සිදු වී විනාඩි කිහිපයක් ඇතුලත එම ස්ථානයට ගිය යුද හමුදා භට පිරිස් සිය උපරිම කැප කිරීම යොදා මෙලෙස අනතුරට පත්වූවන්ගේ දිවි ගලවා ගැනීමට උත්සාහ කරමින් සිටිති. අවට සිටින වැසියන් සහ තවත් පාර්ශව ද මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භට පිරිස් වෙත සිය සහාය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මේ අතරතුර මෙතෙක් සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් මීට සුළු මොහොතකට පෙර අනතුරට පත්වූවන්ගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගැනීමට යුද්ධ හමුදා සෙබළුන්ට හැකිවී ඇත.