කිළිනොච්චි රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපහාර
13th May 2016
රණවිරු සැමරුම් උළෙලට සමගාමීව කිළිනොච්චි කොකාවිල් රණවිරු ස්මාරකය අභියස දී අඟහරුවාදා (10) දින පැවැත් වූ උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා සහභාගි විය. එහි දී උතුරු පලාත් සභා ප්‍රධාන සහකාර ලෙකම් සරස්වති මොහනාදන් මහත්මිය සහ   කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ නිහඬතාවයකින් පසු උපහාර උළලේ වැඩකටයුතු ආරම්භ විය. ඉන් පසු ආගමික වතාවත් ඉටු කරමින් දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණ වූ අතර, එම අවස්ථාවට සහභාගිවුවන් රණවිරු ස්මාරකය අභියස මල් කළඹ තැන්පත් කරමින් ඊට උප හාර දැක්වීය. උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, උතුරු නාවික පෙදෙසෙහි ආඥාපති, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක, 55 සහ 64 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙයට සමගාමීව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 30 දෙනෙකු සඳහා පොත් පාර්සල් බෙදා දෙනු ලැබීය. මෙහි දී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් දේශයේ දීර්ඝකාලීන සාමය උදෙසා රණවිරුවන් කළ සේවය අගයමින් එම අවස්ථාව අමතනු ලැබීය.
 
            
           
             
             
             
             
             
            