4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණියේ ඉතිහාසය එළි දක්වයි
10th May 2016
වසර 29 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන 4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණිය යුද හමුදාව තුල තම ගමන් මඟ කියාපාන ‘4 වන ශ්‍රී ලංකා පාබල බලඇණි ඉතිහාසය’ නම් වූ ග්‍රන්ථය පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයක දී සෙනසුරාදා (07) දින එළි දක්වනු ලැබීය.      මෙම බල ඇණිය ස්ථාපනය කිරීමෙන් පසු එයට දෙවනවරට අණ දුන් අණදෙන නිලධාරි වූ වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය.  තවද මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර වෙත හමුදා සම්ප්‍රදායානුකූව එම රෙජිමේන්තු භූමියේ දී සම්මාන පෙළපාලියක් ද පිරිනැමීය. මෙම ඉතිහාස ග්‍රන්ථය එළි දැක්වීමට ප්‍රථම සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීම සහ දිවි පිදූ 4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණියේ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදු කෙරිනි. ලුතිතන් කර්නල් ජේ.කේ.ආර්.පී ජයසිංහ පිළිගැනීමේ කතාව සිදු කරමින් මෙලෙස එළි දැක්වීමට නියමිත ග්‍රන්ථය පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය.  එමෙන්ම හෙතෙම විසින් එවකට 4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණියේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත මෙදින එළි දැක් වූ ඉතිහාස ග්‍රන්ථයේ ප්‍රථම පිටපත පිළිගැන්වීම ද සිදු කරනු ලැබීය. එහි දී උත්සව සභාව ඇමතූ ෆීල්ඩ් මාර්ෂල්  ෆොන්සේකා විසින් මෙම බල ඇණිය සිදු කළ පෙර කටයුතු පිළිබඳ සහ එයින් රටට සිදු කළ කාර්යභාරය පිළිබඳව ද කරුණු සිහිපත් කළ අතර, එය ආදර්ශයක් කොට ගෙන වඩා හොඳ සේවයක් සිදු කිරීමට සියලු නිලයින්ට අවශ්‍ය උපදෙස් ද ලබා ද දුන්නේය. 4 වන ශ්‍රී ලංකා පාබල බල ඇණියේ ඉතිහාසය ගෙන හැර දැක්වීම සඳහා නිර්මාණය කර තිබූ කෙටි වාර්තාමය වීඩියෝ පටය උත්සව සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම බල ඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි විසින් සිය සුභාශිංසන එක් කරමින් එවා තිබූ පණිවිඩය ද කියවනු ලැබීය.  ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මේ වෙනුවෙන් කැප වූ සැමට සිය ස්තූතිය ප්‍රකාශ කළේය.  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම ආරාධිතයින් රැසක් ද මෙම ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.
 
            
           
             
             
             
             
             
             
             
             
             
             
            