583 බල සේනාවෙන් අක්ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමක්

29th April 2016

සිවිල් - හමුදා සම්බන්ධීකරණය තවදුරටත් වර්ධනය කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 583 බල සේනාවේ භට පිරිස් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල හා එක්ව බ්‍ර‍හස්පතින්දා (27) දින රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙත ජංගම අක්ෂි සායනයක් පවත්වනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආශිර්වාදය මත සිරිනාග විහාරයේ ශික්ෂූන් වහන්සේලාගේ සහයෝගය ඇතිව මෙම සායනය පවත්වන ලදි. මෙහි දී 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන සහ 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණයෙන් සංවිධානය කරනු ලැබූ මෙම සායනය මගින් රුපියල් 139,500/= ක් වටිනා ඇසි කණ්නාඩි නොමිලේ බෙදා දෙන ලදී. එමෙන්ම සායනයට පැමිණි සිවිල් වැසියන් සඳහා ආහාර පාන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ භට පිරිස් විසින් සපයනු ලැබීය. මෙහිදී ජංගම වෛද්‍ය සායනයේ අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් වීරකෝන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දෘශ්‍යාබාදිත වැසියන් 155 දෙනෙකු සඳහා උපදෙස් ලබා දෙනු ලැබීය. වෛද්‍ය වීරකෝන් විසින් මෙම වැඩසටහනෙහි ඇස් කණ්නාඩි සඳහා දායකත්වය ලබා දී ඇත. මෙම අවස්ථාව සඳහා තිබොල්කැටිය සිරිනාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිස්සනන්ද ස්වාමින් වහන්සේ, රාජ්‍ය නිලධාරීන් සහ යුද හමුදා හා පොලිස් නිලධාරීන් සහභාගි වූහ.