වන්නි ආඥාපතිතුමා වෙත ‘දේශ කීර්ති ලංකා පුත්‍ර‍ගෞරව’ නාමය

5th April 2016

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙත ‘දේශ කීර්ති ලංකා පුත්‍ර‍ගෞරව’ නාමය සිකුරාදා (1) දින අනුරාධපුරය ‘සඳහිරු සෑය’ පරිශ්‍රයේ පැවති විශේෂ උත්සවයක දී ප්‍ර‍දානය කරනු ලැබීය. වන්නි ප්‍රදේශයට පමණක් නොව යුද හමුදාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා රාමඥ නිකායේ මහා සංඝ රත්නය විසින් මෙම ගෞරව නාමය තිළිණ කරන ලදී. එම අවස්ථාවේ ශ්‍රී රාමඥ නිකායේ මහනායක පූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමි විසින් එම ගෞරව නාමය පිරිනමනු ලැබීය. මෙම උත්සවයට සමඟාමීව අනුරාධපුර ධම්මාරාම හිමිගේ අධීක්ෂණය යටතේ සුලුගුලු විහාරයේ සංවිධානයෙන් අනුරාධපුර අභිමංසල -1 හි නේවාසිකව ප්‍ර‍තිකාර ලබන ආබාධිත රණවිරුවන් සඳහා ත්‍යාග පාර්සල් ද බෙදා දෙනු ලැබීය. පූජ්‍ය නාපාන ප්‍රේමසිරි හිමි, පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමි, අති පූජ්‍ය වැලමිටියාවේ ධම්ම කීර්ති ශ්‍රී කුසල ධම්ම නායක හිමි සහ පූජ්‍ය මැදිතියාවෙල මේධංගර හිමි මෙම උත්සවය අමතනු ලැබීය. එම උපහාර උළෙල සඳහා රදගුරු නොර්බට් මාර්ෂල් ඇන්ඩ්‍රාදි ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.