ආබාධිත රණවිරුවන් වෙත ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි සහාය

2nd April 2016

ඕස්ට්‍රේලියාවේ ‘ලෝක ප්‍ර‍ජා සේවා සත්කාරක අත්දීමේ ව්‍යාපෘතියේ’ නියෝජිතයින් 18 දෙනෙකු සුභසාධක වැඩසටහන් රැසක් රැගෙන සිකුරාදා (1) දින දේශය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත් වූ රණවිරුවන් නේවාසිකව ප්‍ර‍තිකාර ලබන රාගම රණවිරු සෙවනෙහි සංචාරයක නිරත විය. පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන් විසින් රණක්ෂිතයට පත් වූ විරුවන් 99 දෙනෙකු වෙත කෘත්‍රිම අත් පා 108 ක් මෙහි පැවති චාම් උත්සවයේ දී ප්‍ර‍දානය කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකරණ කටයුතු මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍ර‍පාල (විශ්‍රාමික) සමගින් පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරසු සහ රාගම රණවිරු සෙවනෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච්. කුලතුංග විසින් සිදු කරනු ලැබීය. එම අවස්ථාවේ දී ‘ලෝක ප්‍ර‍ජා සේවා සත්කාරක අත්දීමේ ව්‍යාපෘතියේ’ කළමනාකාර ටෙරී ඩැලේ මහතා රණවිරු සෙවනෙහි රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සමඟ අදහස් කිහිපයක් ද හුවමාරු කරගනු ලැබීය. ඉදිරියේ දී අඛණ්ඩව මෙම විරුවන්ට ඔවුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වන බව ද ඒ මහතා ප්‍ර‍කාශ කර සිටියේය. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍ර‍පාල (විශ්‍රාමික), පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරසු සහ රාගම රණවිරු සෙවනෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච් කුලතුංග සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.